අලෝකයෙන් නව ලොවක් කරා....

Monday, September 12, 2016

වකුගඩු රෝගයෙන් බේරෙමු.[Survive kidney disease.]

මොහොතක් නතර වෙන්න.මේක කියවන්න.අපේ ජිවිතයට වඩා වටිනා දෙයක් තියෙනවද කියලා මොහොතක් සිතන්න.
රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වකුගඩු රෝග පර්යේෂක වෛද්‍ය චන්න ජයසුමන
රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එසේම 2002 පටන් මේ දක්‌වාම වකුගඩු අකරණයේ මුල - අග සොයන්නට විවිධ පර්යේෂණයන්හි නිරත වී සිටින වෛද්‍ය චන්න ජයසුමන මහතා වකුගඩු අකරණයේ මුල - අග මේ වන විට සොයාගෙන ඇත. වැඩි වශයෙන් රජරට පුරාවට ව්‍යාප්ත වී ඇති වකුගඩු අකරණය පිළිබඳව ලෝකයේ විද්වතුන් හා පර්යේෂකයන් අතර වැඩිම පර්යේෂණ පත්‍රිකා සමූහයක්‌ නිකුත් කරමින් වකුගඩු රෝගයේ පතුලටම කිඳා බැස ඇති වෛද්‍ය චන්න ජයසුමන මහතා වකුගඩු අකරණයට අදාළව රැස්‌ කරගෙන ඇති පර්යේෂණාත්මක තොරතුරු මෙසේ හෙළි කරයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව මේ වන විට රජරට වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව විසිදහස ඉක්‌මවා ඇත. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පමණක්‌ වකුගඩු අකරණයට ගොදුරු වී සිටින රෝගීන් සංඛ්‍යාව තුන් දහසකට වැඩිය. මැදවච්චිය නගරයේ පවත්වාගෙන යන "කිඩ්නිකෙයා" සංවිධානයේ සභාපති සහ මැදවච්චිය රජයේ රෝහලේ වෛද්‍ය ඉඳුමිණ රූපසිංහ මහතා මේ සංඛ්‍යා තහවුරු කරයි.
මැදවච්චියේ සිට මන්නාරම් පාරේ කිලෝමීටර් 12 ක්‌ පමණ ගිය විට පෙරියකුලම ගම හමුවේ. පෙරියකුලම ගමේ එක පවුලක සිටින හත්දෙනාම වකුගඩු රෝගීන්, මෙයින් දෙදෙනකු මේ වන විට මියගොස්‌ ඇත. මේ ගම්මානයේ පමණක්‌ වකුගඩු අකරණයට පත්ව සිටින රෝගීන් පනහකට වැඩිය. මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව පාරේ කිලෝ මීටර් 03 ක්‌ පමණ ගියවිට හමුවන ඉහළ තම්මැන්නාව ගමේ වකුගඩු රෝගීන් 12 ක්‌ 2014 වසරේදී මියගොස්‌ ඇත. දැනටත් මේ ගමේ රෝගීහු 14 ක්‌ පමණ සිටිති. මීට යාබදව පිහිටි කොඩිය බැන්දවැව ගමේ ජීවත්වන පවුල් විසිනවයම වකුගඩු රෝගයට ගොදුරු වී සිටිති. මේ හැම පවුලකම එක්‌ රෝගියකු හෝ සිටී.
අපේ තාත්තා වකුගඩු රෝගයට වසර දෙකක්‌ පමණ බේත් ගත්තා. ටිකෙන් ටිකම රෝගය මෝරන්න වුණා. අන්තිමට රුධිර කාන්දුකරණයත් කළා. රුධිර කාන්දුකරණය ටික කලක්‌ කරගෙන යද්දී තාත්තා මැරුණා. මගේ මියගිය තාත්තා වෙනුවෙන් මම දැන් ඉහළ තම්මැන්නාව ගමේ පවුල් 250 කට පමණ පිරිපහදු කළ ජලය ලබා දෙනවා. "කිඩ්නි කෙයා" සංවිධානයේ භාණ්‌ඩාගාරික ජයන්ත විජයසිරි තරුණයා විස්‌තර කළේය.
ඖෂධ ලබාදීමෙන් සහ රුධිර කාන්දු කරණයෙන් කෙරෙන්නේ රෝගියාට තව ටිකක්‌ ආයුෂ ලබාදීම පමණයි. රෝගය නිට්‌ටාවට සුවකරන්න බෑ. රෝගය නිට්‌ටාවට සුව කරන්න නම් රෝගය ඉපිදවීමේ හේතු කාරකයන් හොඳින් දැනගෙන ඒවා නිෂේධ කිරීමට කටයුතු කළ යුතුයි. වෛද්‍ය චන්න විස්‌තර කළේය.
වකුගඩු අකරණය කියන්නේ වකුගඩු ක්‍රියා විරහිතවීමයි. අපේ ශරීරයේ තියෙන්නෙ 70% ක්‌ ම ජලය. අපව ජීවත් කරවීමේ ප්‍රධාන නියමුවා ජලයයි. අපට වැළඳෙන අපමණ රෝගවල එක්‌ ප්‍රධාන සාධකයක්‌ වන්නේ ජලයයි. දූෂිත ජලය පානය කිරීමෙන් හට ගන්නා විවිධ රෝග නිසා ලෝකයේ ජනගහනයෙන් දිනකට හයදාහක්‌ පමණ අකාලයේ මියයනවා. වකුගඩු රෝගය නිසා අපේ රටෙන් දැන් දිනකට 10 ක්‌ 12 ක්‌ මිය යනවා. පරිසර සාධක නොසලකා හැර මිනිසා අවිධිමත්ව කෙරෙන ආහාර පාන සහ ජීවන රටාව නිසාත් සමතුලිත නොවන පාරිසරික ගනුදෙනු නිසාත්" වකුගඩු අකරණය වැනි රෝග සමාජගත වෙනවා.
ඉතාමත් සුපිරිසිදු යෑයි සිතා බීමට ගන්නා ජල වීදුරුවක්‌ තුළ අපේ දෑසට නොපෙනෙන කිසිදු ගඳක්‌ සුවඳක්‌ - පාටක්‌ - රසයක්‌ නැති අගුණදායක බැක්‌ටීරියාවක්‌ බැරලෝහ රසායන ද්‍රව්‍ය මුහු වී තිබිය හැකියි.
හැටේ දශකයේදී හරිත විප්ලවය හරහා අපේ ගොවිතැනට ඇබ්බැහි කළ වල්නාශක හා කෘෂි රසායන නොමැතිව අද ගොවිතැන නොකළ හැකි තරමට ගොවි ජනතාව ඒවාට ඇබ්බැහිවෙලා. හරියටම වකුගඩු අකරණය හරහා මරණය ඉල්ලා කෑ ගසනවාක්‌ මෙන් දැන් බොහෝ ගොවීන් රසායනික පොහොර ඉල්ලා කෑ ගසනවා. මෙම කෘමිනාශක වල්නාශක රසායනික පොහොර ආදියේ ආසනික්‌ කැඩ්මියම් වැනි බැරලෝහ මෙන්ම ශරීරයේ නීරෝගිතාව නැති කරන විවිධ සංඝටකයන් අඩු වැඩි වශයෙන් පවතිනවා. මේවා ශරීරයට අහිතකරයි. රුධිරය සමග මුහුව පවත්නා මෙම සංඝටකයන් ඉවත් කොට රුධිරය පිරිසිදු කරන්නට යාමේදී ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන වකුගඩුව ලෙඩවී අකරණයට පත්වෙනවා. වකුගඩු සෑදී ඇත්තේ " වෘක්‌කානු" නමැති පෙරහන් ලෙස ක්‍රියා කරන ඉතාම සියුම් ඒකක මිලියනයක පමණ එකතුවෙනි. වකුගඩුවේ ක්‍රියාකාරිත්වය වන්නේ පරිබාහිර ක්‍රියාවන්ගෙන් රුධිරයට එකතු වන අපද්‍රව්‍ය බැහැර කිරීමය. මුත්‍රා ලෙස පිටවී යන්නේ ඒ අපද්‍රව්‍යයන්ය. එක්‌ විනාඩියකට රුධිරය මිලි ලීටර් 1300 ක්‌ පමණ වකුගඩු හරහා සංසරණය වෙනවා.
වියළි කලාපයේ ජලය බොහෝ විට කිවුල මුහු වී පවතිනවා. අප කාලයක්‌ තිස්‌සේ භාවිතයට ගන්නා පානීය ජලය තුල බැරලෝහ කිවුල සමග මුහුවීමෙන් ජලයේ සංයුතිය වෙනස්‌ වී එහි අඩංගු විෂකාරක වකුගඩු හරහා ගමන් කිරීමේදී වකුගඩුවේ වෘක්‌කානු දියවෙමින් මියයයි. ඒ නිසා වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩාළ වේ. මෙසේ අකරණයට පත්වන වකුගඩු නැවත ඖෂධ මගින් සුවපත් කළ නොහැකිය. වෘක්‌කානු දිය වී මියයන හෙයින් ඒවායේ සුවපත් කරන්නට ඉතිරිවන දෙයක්‌ නැත. මියගිය ජීවිතයකට ඖෂධ මගින් යළි පණ ලබා නොදිය හැකිවාක්‌ මෙන් දිය වී මියගිය වෘක්‌කානු නැවත පණ ගැන්විය නොහැකිය. "වකුගඩු අකරණය" ලෙස හඳුන්වා ඇත්තේ වකුගඩුවල වෘක්‌කානු මියගොස්‌ එහි ක්‍රියාකාරීත්වය අඩාළවීමයි. මෙහිදී අප කළ යුතු එකම දෙය ආහාර පානවලින් පරිස්‌සම් වීමය. එසේම අපේ සිරුරු ගත කරන ආහාර පානවලින් වස - විෂ මුසු බෝග - ජලය ආදිය ඉවත් කිරීමය. සියලු විෂ සහිත කෘෂි රසායන වර්ග ආහාර පාන සඳහා භාවිතා කිරීම සපුරා ඉවත් කළ යුතු යෑයි අවධාරණය කරන්නේ ඒ නිසාය.
දැන් දැන් අපේ රටේ විශේෂයෙන් රජරට ප්‍රදේශයේ ව්‍යාප්ත වන්නේ පෙරදා සිට පැවත එන පාරම්පරික වකුගඩු රෝගය නොවේ. එක එල්ලේම කැඩ්මියම් - ආසනික්‌ වැනි බැරලෝහ අඩංගු කෘෂි රසායන ආහාර බෝගවලට භාවිතා කිරීම නිසා එම විෂකාරකයන් පසට පොළොවට වතුරට ආහාර බෝගවලට කාන්දුවීමෙන් ඒවා ආහාර පාන හරහා ශරීර ගතවීමෙන් රුධිරයට මුහු වී රුධිරය පිරිපහදු කරන වකුගඩුවල පවතින වෘක්‌කානු දියකිරීමෙන් වකුගඩු අකරණයට පත් කිරීම දැන් බහුල ලෙස ව්‍යාප්ත වන වකුගඩු රෝගයයි. විෂ සහිත කෘෂි රසායන සපුරා භාවිතයෙන් බැහැර කරනතුරු වකුගඩු අකරණය නැවැත්විය නොහැකිය.
දැන් පවතින වකුගඩු අකරණය සිරුරේ පටන්ගත් හැටියේම බාහිර වශයෙන් දැනෙන්නේ නැත. රුධිරය පිරිසිදු කරන වෘක්‌කානු ක්‍රමයෙන් ටිකෙන් ටික දිය වී යමින් බොහෝ කොටස්‌ මැරීගිය විට බාහිර වශයෙන් රෝග ලක්‍ෂණ මතුවේ. එවිට රෝගය මෝරා හමාරය. මෙම සියලු තත්ත්වයන් පාලනය කිරීමට ඇති නොවරදින මග වන්නේ විෂ සහිත කෘෂි රසායන ආහාර පානවලින් බැහැර කිරීමය. විශේෂයෙන් ආහාරපානවලට විෂ කවන රසායනික පොහොර රසායනික තෙල් ආදිය පොළොවට මුසු කිරීම වහාම අත්හළ යුතුය. කෘෂිරසායන වගාවට යෙදීමෙන් අපේ රටට කඩා වැටී ඇති වකුගඩු - හෘද රුධිර ආදී රෝගවලින් වැළකීමට නම් විෂ සහිත රසායනික තෙල් පොහොර වගාවන්ට යෙදීම වහාම අත්හිටුවිය යුතුය.
මේ පිළිබඳව දසවසරකට වඩා වැඩි කලක්‌ පර්යේෂණ පැවැත්වීමෙන් පසු අනාවරණය කරගත් කරුණු අනුව කෘෂිරසායන නොමැතිව දේශීය වී වගා කිරීමේ වැඩසටහන් අත්හදා බැලීමේ පදනමක්‌ මත 2014 මහ කන්නයේදී රජරට ගොවිපවුල් පනස්‌ දහසක්‌ සම්බන්ධ කරගෙන පවත්වනු ලැබීය. මෙහිදී රජය පුරෝගාමී වී මෙම ගොවි පවුල් පනස්‌ දහසටම රත්සුවඳැල්, කළුහීනටි, බෙහෙත් හීනටි, සුදුදුරු සම්බා, කුරුළු තුඩු මඩතවාලු වැනි දේශීය වී වර්ග කිලෝ පහළොව බැගින් බිත්තර වී සඳහා රජයේ වියදමින් ලබා දී ඒ සඳහා විශේෂ ව්‍යාපෘතියක්‌ද පිහිටුවනු ලැබීය. කෙසේ වුවද ආණ්‌ඩු පෙරළීයාමත් සමග ඒ වැඩපිළිවෙළද පෙරළී ගියේය. මේ වන විට දේශීය වී වගා ව්‍යාපෘතිය කඩා කප්පල් වී ඇත.
රෝගය සෑදීමෙන් පසු රටට නම යන්නට අසාර්ථක ප්‍රතිකාර කරනවාට වඩා කළ යුතුව ඇත්තේ රෝගය නිවාරණය කිරීම සඳහා රෝගය උපදවන විෂ සහිත කෘෂි රසායන වගාවට භාවිතා කිරීම අත්හිටුවීමය. ජාතික ධනය කෝටි ගණනින් වැය කොට විදේශීය ඖෂධ හා රුධිර කාන්දුකරණ යන්ත්‍ර ආනයනය කොට රෝගීන් සඳහා යොදා ගනු ලැබුවත් ඒ ක්‍රියා මාර්ගවලින් රෝගීන්ට ටික කලකට ආයුෂ දෙනවා හැරෙන්නට රෝගීන් මරණයෙන් බේරා ගැනීමට නුපුළුවන ඔවුහු ඒකාන්තයෙන්ම මෙම රෝගයෙන් අකාලයේ මියයති. එසේ නම් රජරට ජනතාවට ජීවිත දානය දීමට නම් කළ යුතු එකම ප්‍රතිකර්මය වන්නේ විෂ කාරක අඩංගු කෘෂි රසායන වගාවට යෙදීම අත්හිටුවීමය.
මේ දිනවල කොළඹ රටේ නිතර කතාබහ කරන දේශපාලන "හෙයියම් මාරුවට" වඩා වකුගඩු රෝගයට ගොදුරු වී සිටින රජරට ජනජීවිත ගැන රජයේ අවධානය යෙදවීම වඩාත් ජනහිතකාමී වේ. ගොවිජනතාව උසිගන්වා ගෙන සමහර සංවිධාන මගින් රසායන පොහොර ඉල්ලා කෑකොස්‌සන් ගසන නමුත් වකුගඩු, පිළිකා, හෘද, ආදී බෝනොවන රෝග ජනතාව වෙත කැන්දාගෙන එන කෘෂි රසායන ආහාර බෝගවලින් ඉවත් කිරීමට කාලය පැමිණ තිබේ. මේ නිසා අතීත චෝල ආක්‍රමණයේදී මෙන් වර්තමානයේ වකුගඩු මාරයාගෙන් රජරට ජනශූන්‍ය වන්නට ඉඩ නොදී විෂකාරක කෘෂිරසායන ගොවිතැනින් ඉවත් කිරීමට රාජාඥාවක්‌ නිකුත් කරන්නේ නම් අකාලයේ මියයන ජනජීවිත බේරා ගත හැකිය.
Share:
ඔව් ,සිත කාලය පැමිණේවි.තද ශිත කුණාටු හමාවී.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී.එහෙත් වසන්තය එනවා සත්තයි......

ෆෝරම්

සින්ඩි